Saturday, June 16, 2012

නෑහුණු පතල් කවිය...


නත්තිරම් බලා ඉඩමක
මංගල පුවක්පැල එළිකර
හත්දා අමාවක පහුකර
වල හතරකොන මැනගෙන...

දිගනෙන් දිගන ගානට
පුරුද්දා එකිනෙකට සමබර...
බිත්තිය කඩාගෙන නොවැටෙන්න
හරස්පොලු තියා තදකොට....

අල්ලා වතුර බිංදුවට
(ඒ අරුම පුදුම ලෙවලය ය)
එල්ලය බලා ඊළඟ කත්තුව
ලොකු බාසුන්නැහේ
වලේ හැම මාරකය මඟහැර...

පේකඩ තියා වාරුවට
ගානෙන් ගාන
තට්ටුවෙන් තට්ටුව
සොයා කිමිදෙන හැටි,
මැණිකක්...
මහ පොළොව ඇතුළට ම...

හක්.. හක්.. ඇල්ලුවා.. හක්... හක්.. ඇල්ලුවා...
කදිමයි ඒ රිද්මය..
ඇඟේ ලේ දුවන රිද්මය...
නාඩි වැටෙනා රිද්මය...
කිසි සංගීතයකට අහුනූන තාලය...

පුස්සක් අහුඋණොත්
පාඩුයි වියදම් හවුල ම...
හුමාලෙට බයයි හැම හිත ම
ෂූ ගා එකවර ම පැන එන...

කැකිල්ලේ පිහිට නැති තැන
බිත්තිය අනේ හිස මත..
දෝනා කාමරය පසුකොට
යන්නේ ආයෙම එන හිත වාඩියේ තනි කර...

ඇන්ජින් හුස්ම අරගෙන
ඉටිපන්දම් හිරුට පින් දෙන
නුඹ...
යන්තම් ඇහැට ඉගිලෙන
ජාතිගල්
එසැනින් දිව යට සඟවන...

ඉල්ලම ගොඩගැසූ දවසට
හිත බොක්ක හැම විට ගිනිගෙන..
රෑ මුරය නැති මුත්
නුඹ නෙත
නින්දක් නැති ව ඇහැරෙන...

සිවු මස්, පස් මස් අවසන
හෙළූ දහදිය
වට්ටියේ ගැට්ටෙන් පැන යන..
නාම්බුවෙ අඩියේ ම දිලිසෙන
ගෙවුඩේ කාන්තිය නුඹේ
ඇස් අග...

වියදම් හැම එක ම තෑගි දී
ලක්ෂෙට දාහ අරගෙන
රටක් රාජ්ජයක් දිනු ලෙස
කෝටියක් දේ අරගෙන
ගෙට යන..
වෙන්දේසියෙන් පහුදින
පතලෙ නඩේ කතරගම වන්දන....
ඊළඟ වාසියේ දවසක
එන වගට
ආයෙ ම කතරගමට බාර වෙන...

අයියේ
අසිරිමත් දැනුම අරගෙන
නුඹ
දහදිය ගඟුලේ
මැණික් පතලේ
මම
තව ම
ගොඩ....

ඈතින් ඇහෙනවා නෝක්කාඩුවට...

‘උඩ වැඩ කරන අයට දෙන්නේ... අඩු පඩියේ...‘

-වික්ස්-

2 comments:

මොකෝ කල්පනාව???
ඔයි හිතන ටික කොටාලා ගියොත් නාකද???