Saturday, June 16, 2012

අපි ඉතිං රත්නපුරේ එව්වොනෙ හත්තිලව්වේ...

කිව්වට ඉතිං අපිත් රත්නපුරේ...

රත්නපුරේ කිව්වොත් ඉතිං මුලින් ම මතක් වෙන්නේ මැණික් වෙන්න ඕනි... දැන් ඉතිං පොඩ්ඩක් වෙනස් විදියකටත් කට්ටියකට මතක් වෙන්න පුළුවන් (පහුගිය කාලේ එකදිගට ගෑණු මැරුවේ... කහවත්ත.. අන්න ඒ රත්නපුරේ ගැන තමයි මම මේ කියන්නේ)
කිව්වට මොකද රත්නපුරේ ගැන හැමෝ ම කතා කළාට මැණික් ගැන ඕනි තරම් පින්තූර දැක්කට එව්ව ගරාගන්න මේ පොළෝ අස්සෙ කිමිදෙද්දි අපේ අයට සිද්ද වෙන ගැහැට ගැන කොහේවත් ලියලා තියෙනවා නම් දැක්කෙ නෑ...


ඉතිං කිව්වට... මමත් පටන්ගත්ත බ්ලොගක් කොටන්න... අඩුපාඩු එමට ඇති... කිව්වට මේ බාසාවත් හරි අමාරුවෙන් ගොතාගෙන යන්නේ... ඒකත් උඹලට අපිට දිරවගන්න පුළුවන් වෙන්ට ඕනිනේ...

කොහොම උණත් අරමුණ පැහැදිලි නම් ගමනක් තියෙනවා කියලා තමයි අහලා තියෙන්නේ... මම දන්න ටික ඔන්න ඔහොම පටන් ගන්නො... දන්න ටික කිව්වට ඉතිං තාත්තලගෙන් අයියලගෙන් අහගන්න එව්ව තමයි....

කිව්වට මේකෙන් උඹලට අපිට කොහොම උණත් පතල් කර්මාන්තෙටවත් යහපතක් වෙයි කියලා හිතනවා... මොකද මට මේ වෙනකල් ඕක ගැන ලියැවෙච්චි පොතක් පත්තරයක් හම්බ වෙලා ම නෑ... (තියෙනව නම් ඔන්න ඒක ගැන කියන්නත් මෙතන ඕනි එකෙකුට ඕපන් ඕං...)...

කිව්වට... මට ටක්කෙට ම ෂුවර් ආයෙ අවුරුදු ගාණක් යනකල් ඒකෙ තියෙන තාක්ෂණේට ගහන්න තාක්ෂණයක් නම් මතුවෙන්නේ නෑ... බලපල්ලකො...




නෑහුණු පතල් කවිය...


නත්තිරම් බලා ඉඩමක
මංගල පුවක්පැල එළිකර
හත්දා අමාවක පහුකර
වල හතරකොන මැනගෙන...

දිගනෙන් දිගන ගානට
පුරුද්දා එකිනෙකට සමබර...
බිත්තිය කඩාගෙන නොවැටෙන්න
හරස්පොලු තියා තදකොට....

අල්ලා වතුර බිංදුවට
(ඒ අරුම පුදුම ලෙවලය ය)
එල්ලය බලා ඊළඟ කත්තුව
ලොකු බාසුන්නැහේ
වලේ හැම මාරකය මඟහැර...

පේකඩ තියා වාරුවට
ගානෙන් ගාන
තට්ටුවෙන් තට්ටුව
සොයා කිමිදෙන හැටි,
මැණිකක්...
මහ පොළොව ඇතුළට ම...

හක්.. හක්.. ඇල්ලුවා.. හක්... හක්.. ඇල්ලුවා...
කදිමයි ඒ රිද්මය..
ඇඟේ ලේ දුවන රිද්මය...
නාඩි වැටෙනා රිද්මය...
කිසි සංගීතයකට අහුනූන තාලය...

පුස්සක් අහුඋණොත්
පාඩුයි වියදම් හවුල ම...
හුමාලෙට බයයි හැම හිත ම
ෂූ ගා එකවර ම පැන එන...

කැකිල්ලේ පිහිට නැති තැන
බිත්තිය අනේ හිස මත..
දෝනා කාමරය පසුකොට
යන්නේ ආයෙම එන හිත වාඩියේ තනි කර...

ඇන්ජින් හුස්ම අරගෙන
ඉටිපන්දම් හිරුට පින් දෙන
නුඹ...
යන්තම් ඇහැට ඉගිලෙන
ජාතිගල්
එසැනින් දිව යට සඟවන...

ඉල්ලම ගොඩගැසූ දවසට
හිත බොක්ක හැම විට ගිනිගෙන..
රෑ මුරය නැති මුත්
නුඹ නෙත
නින්දක් නැති ව ඇහැරෙන...

සිවු මස්, පස් මස් අවසන
හෙළූ දහදිය
වට්ටියේ ගැට්ටෙන් පැන යන..
නාම්බුවෙ අඩියේ ම දිලිසෙන
ගෙවුඩේ කාන්තිය නුඹේ
ඇස් අග...

වියදම් හැම එක ම තෑගි දී
ලක්ෂෙට දාහ අරගෙන
රටක් රාජ්ජයක් දිනු ලෙස
කෝටියක් දේ අරගෙන
ගෙට යන..
වෙන්දේසියෙන් පහුදින
පතලෙ නඩේ කතරගම වන්දන....
ඊළඟ වාසියේ දවසක
එන වගට
ආයෙ ම කතරගමට බාර වෙන...

අයියේ
අසිරිමත් දැනුම අරගෙන
නුඹ
දහදිය ගඟුලේ
මැණික් පතලේ
මම
තව ම
ගොඩ....

ඈතින් ඇහෙනවා නෝක්කාඩුවට...

‘උඩ වැඩ කරන අයට දෙන්නේ... අඩු පඩියේ...‘

-වික්ස්-